ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳව රතු දත්ත ලැයිස්තු දෙක අද (03) පෙරවරුවේ පරිසර අමාත්‍යංශයේ දී එළිදක්වනු ලැබීය.

ඒ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධව සූම් තාක්ෂණය ඔස්සේ අදහස් පළකළේය.
 
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්. ඒ.ආර්. ආර්. රූපසිංහ මහතා  විසින් රතු දත්ත ලැයිස්තු දෙක අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදෙනු ලැබීය.
 
රතු ලැයිස්තු දෙකක් වන i - 2020 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළීබඳ රතු දත්ත ලැයිස්තුව සහ ii -  2020 ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලැයිස්තුව අද දින එළිදක්වනු ලැබීය.

මේ වනවිට පක්ෂීන්, ක්ෂීරපායීන්, උරගයින්, උභයජීවින්, සමනල්ලු, බත්කූරන්, කුහුඹුවන්, මීමැස්සන්, මකුළුවන්, මිරිදිය කකුළුවන්, හා ගොඩබිම වෙසෙන බෙල්ලන් යන විශේෂ 11ක් සම්බන්ධව රතු දත්ත ලැයිස්තු සැකසීම  අවසන් වෙමින් තිබේ.


01. වෘක්ෂ ලතා පිලිබඳ 2020 ජාතික රතු දත්ත ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ ශාඛවල රතු දත්ත ලැයිස්තුව කියන්නේ දේශීය ශාඛවල සංරක්ෂණ තත්ත්වය පමණක් නොව එම තර්ජන හා වඳවීමේ අවදානම අවමකිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගවල දර්ශකයකි.
 
මෙම වාර්තාව සකස් කිරීමට මෙරට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙන්ම ජාතික උද්භිද උද්යාණන දෙපාර්තමේන්තුවේ ශාඛාගාරයේ තාක්ෂණික හා උපදේශක කණ්ඩායම දායකත්වය දී තිබේ.

මෙම වාර්තාවට ශ්‍රී ලංකාවේ ශාඛ විශේෂවල විශේෂයෙන් සපුෂ්ප ශාඛ හා පර්ණාංග ශාඛවල ජාතික සංරක්ෂණ තත්ත්වය ඇතුළත් වෙයි. 

මෙම වාර්තාව අනුව ජාතික රතු ලැයිස්තුවට ශාඛ කුළ 186ක සපුෂ්ප ශාඛ විශේෂ 3,087ක් ඇගයීමට ලක්කර තිබේ.

2012 වාර්තාවට ඇතුළත් නොකළ එහෙත් මෙවර වාර්තාවට ශාඛ විශේෂ 64ක් ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. 2012 ජාතික  ලැයිස්තුවට ඇතුළත් කළ නව විශේෂ 10ක් තවදුරටත් රතු ලැයිස්තුවට අන්තර් ගත වෙනවා. 

2012 වාර්තාව මගින් අප රටෙන් වඳ වී ගිය ලෙස සැළකූ  ශාඛ වර්ග 05කින් තුනක්ම තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශාඛ විශේෂ දෙකක් තවදුරටත් වඳ වී ගිය ශාඛ ලෙස සැළකෙනවා. 

02. ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ තර්ජිත තත්ත්වය ගැන 2020 රතු ලැයිස්තුව

මෙරට මත්ස්‍ය විශේෂ 97ක් මෙම වාර්තාව යටතේ ඇගයිමට ලක් කර තිබේ. 

ඉන් විශේෂ 61ක් ශ්‍රී ලංකාවට රටට ආවේණික බව හඳුනාගෙන ඇත
.
මෙරටට ආවේණික විශේෂ 12ක් දැඩි තර්ජිත ලෙස රතු ලැයිස්තු ගත කර ඇති බව පරිසර අමාත්‍යංශය පැවසීය.